කාලය පිළිබඳ සිරිවර්ධන සත්‍යය™

විනාඩි පහක්වත් භාවනා කරගන්න බැරි වුනාට මගෙන් බණ අහල බුදු වුන බුද්ද™තිස්ස රහතන් වහන්සේ මහත්තයා මෙහෙම කියල තියෙනවා.

=================================================
යාන්ත‍්‍ර භෞතික විද්‍යාවේ මූලික පදනම වන්නේ කාලය, ස්කන්ධය හා දිගයි. ඇල්බට් අයින්ස්ටයින් සාපේක්‍ෂතාවාදය ලොවට ඉදිරිපත් කිරීමට පෙර, නිව්ටන්ගේ භෞතික විද්‍යාවෙහි සිරවී සිටි විද්‍යාඥයින් සිතුවේ, කාලය ස්කන්ධය හා දිග නිරපේක්‍ෂ රාශීන් බවයි. සාපේක්‍ෂවාදයට අනුව කාලය, ස්කන්ධය, දිග හා ප‍්‍රවේගය එකිනෙකට සම්බන්ධ වූ සාපේක්‍ෂ භෞතික ගුණ බව දැන් පිළිගෙන ඇත.

කාලය දිග හා ස්කන්ධය එකිනෙකට සාපේක්‍ෂ වූවත් ඒවා ලෝකයේ පවතින භෞතික ගුණ බව භෞතික විද්‍යාඥයින් පමණක් නොව සියලූ පෘතග්ජන පුද්ගලයෝ පිළිගනිති. ඇත්තෙන්ම කාලය, දිග හා ස්කන්ධය විශ්වය තුළ පවතී ද?


බොහෝ දාර්ශනිකයින් හා විද්වතුන් කාලය නැමැති ප‍්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිව කාලයෙහි පැටලී ඇති ආකාරය පොත් පත් කියවන විට මා දැක ඇත. වර්තමානයේ සිටින මහා විද්වතකු වූ Stephan Howking ගැන ඔබ අසා ඇති බවට සැක නැත. ඔහුගේ A Brief History of Time From The Big Bang to Black Holes නැමැති කෘතියේ කාලයේ ආරම්භය කුමක්ද යන ප‍්‍රශ්නය නගා ඇත. බොහෝ විද්වතුන් සිතන්නේ මහා පිපුරුම(Big Bang) කාලයේ උපත බවත් කළු කුහරය(Black Hole) කාලයේ විපත බවත්ය.


අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ගැන අවබෝධයක් ඇත්නම් කාලය, ස්කන්ධය හා දිග, ප‍්‍රවේගය මත රඳා පවතින බව ඔබ දන්නවා ඇත (මෙම ලිපියෙන් සාපේක්‍ෂතාවාදය විස්තර කිරීමට බලාපොරොත්තූ නොවන අතර භෞතික විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති පාඨකයකුට වුවද මෙම ලිපියේ කරුණු තේරුම් ගත හැකිය). කාලය, එය මනිනු ලබන රාමුව (frame) අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ඔබ දුම්රියක ගමන් කරන විට, ඔබට කාලය අඩුවෙන් ගත වේ.(1) එයට හේතුව කාලය, එය මනිනු ලබන රාමුවේ ප‍්‍රවේගය මත රඳා පැවතීමයි. විශ්වයේ උපත සොයන විද්‍යාඥයින්ගෙන් මම ප‍්‍රශ්න කරන්නේ, මුඵ විශ්වයම එකම රාමුවක් ලෙස ගත් විට මෙම විශ්ව රාමුවේ චලිතය (ප‍්‍රවේගය) ගැන නොසොයා විශ්වයේ උපත සොයන්නට යාම විහිළුවක් නොවේ ද යන්නයි.


සාපේක්‍ෂ බව කතා කිරීමට අඩුම වශයෙන් රාමු දෙකක්වත් තිබිය යුතුයි. මුළු විශ්වයම එකම රාමුවක් ලෙස ගත් විට විශ්වය නිරපේක්‍ෂ රාමුවකි. විශ්වය නිරපේක්‍ෂ නම් එහි ප‍්‍රවේගය ද නිරපේක්‍ෂ විය යුතුය. සාපේක්‍ෂතා වාදය අනුව විශ්වයේ ඇති එකම නිරපේක්‍ෂ ප‍්‍රවේගය ආලෝකයේ ප‍්‍රවේගයයි. යම් රාමුවක් හෝ වස්තුවක් ආලෝක ප‍්‍රවේගයෙන් ගමන්කරන විට කාලය ගතවන්නේ නැත. එබැවින් ආලෝක ප‍්‍රවේගයෙන් ගමන් කරන විශ්වයට කාලයක් නැත. විශ්වයේ උපත හා විපත එකතැන සිදුවන ක‍්‍රියාදාමයන් දෙකකි. බුදු දහමේ යමකය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. විශ්වයට මොහොතක තරම්වත් වයසක් නැත.(2) ඇතිවන තැනම නැතිවේ (අකාලිකය). අපගේ පංච ඉන්ද්‍රියන්ට, මෙම එකතැන සිදුවන ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවලි දෙක ග‍්‍රහණය කළ නොහැක්කේ අපි චින්තනයේ සිටින බැවිනි. එකවර සිදුවන ඇතිවීම හා නැතිවීම දැකිය හැක්කේ චින්තනය අභිබවා ගිය ප‍්‍රඥාව දැකීමෙන් පමණි.


විශ්වයට කාලය නොමැති වුවත්, වැඩිහිටි වූ අපට කාලයක් ඇත. ඇත්තෙන්ම විශ්වයට නොමැති නමුත් අපට ඇති කාලයේ උපත කුමක්ද? වැඩිහිටියන් වූ අපි කාලය පිළිගනිමු. අතීතය වර්තමානය හා අනාගතය පිළිගනිමු. නමුත් අලූත ඉපදුන දරුවාට අපට මෙන් පංච ඉන්ද්‍රියන් හොඳින් ක‍්‍රියාත්මක වුවත් කාලය නැමැති සංකල්පයක් නැත. ඔහුට හෝ ඇයට ඊයේ අද හෙට යන සංකල්පයක් නැත. කාලයට අසුනොවී සිටින අලූත උපන් දරුවා වැඩිහිටියකු වන විට අතීත වර්තමාන අනාගත තුන් කාලය නිර්මාණය කර ගන්නේ කෙසේද?


කුඩා ළමයාට ද ඇස හොඳට ඇති නිසා ආලෝකය ඇති විට ඡායාවක් දකී. දිගින් දිගටම මෙම ඡායාව දකින විට (පුටුවක ඡායාව යයි සිතමු) ඇසේ ඇතිවන ඡායාව ගැන කුතුහලයක් උපදී. එය තමා තුළම ඇතිවන ස්වයංයෝජනයකි. බහ තෝරන වියට එළඹෙන විට මේ දකින්නේ කුමක්ද? යනුවෙන් ප‍්‍රශ්න නගන්නේ මේ කුතුහලය නිසාය. ළමයා ප‍්‍රශ්න කරන්නේ ඇසේ ඇතිවූ ඡායාව ගැන වුවත් මුළාවට පත්වී ඇති වැඩිහිටියන් පිළිතුරු දෙන්නේ බාහිර ඇති වස්තු ගැනයි. ළමයා මේ කුමක්දැයි ඇසූ විට ‘ඒ පුතේ පුටුව’ කියා වැඩිහිටියෝ පිළිතුරු දෙති. ළමයා ‘පුටුව’ නැමැති ශබ්දය ඔහුගේ මොළයෙහි ගබඩා කර ගනී. තව විදිහකින් කියනවා නම් මතක තබා ගනී. මෙම මතකයත් සමග දැන් කියන අවස්ථාව හෙවත් වර්තමානය නිර්මාණය වේ. ථිතිය ලෙස හදුන්වන්නේ ද මෙම නිර්මාණය කර ගත් වර්තමානයයි.


ඊට පසු අවස්ථාවක ළමයා නැවත පුටුව දුටු විට ‘පුටුව’ නැමති වචනය මතක ගබඩාවෙන් එළියට ගනී. එනම ස්මරණය කරයි. එවිට ඔහුගේ මතකය අතීතයට ගමන් කරයි. දැන් ඔහු අතීතය ද නිර්මාණය කර ගෙන ඇත. මතකය ඉස්මතු වන විට අතීතය නිර්මාණය වේ. දැන් ඔහුට හෝ ඇයට වර්තමානය මෙන්ම අතීතය ද ඇත. නමුත් තවම අනාගතය නැත.


අනාගතය නිර්මාණය කර ගන්නේ කෙසේද? ළමයා පියාගෙන් ටොෆියක් හෝ චොක්ලට් එකක් ඉල්ලයි. එම ඉල්ලන අවස්ථාවේදී ළමයාට දීමට චොක්ලට් නොමැති බැවින් ‘පුතේ හෙට ගෙනත් දෙන්නම්’ යයි පියා කියයි. ළමයා තවම අනාගතයට හසුවී නොමැති බැවින් ඔහු හඩමින් නැවත නැවත චොක්ලට් ඉල්ලයි. ඔහුට චොක්ලට් අවශ්‍ය වන්නේ දැන් ය. කෙසේ හෝ පියා පසුදා චොක්ලට් ගෙනත් දෙයි. නැවත වරක් ඔහු චොකලට් ඉල්ලන විට ‘පුතේ හෙට ගෙනත් දෙන්නම්’ යයි කී විට ළමයා නිශ්ශබ්ද වන්නේ ඔහුට චොක්ලට් ගැන බලාපොරොත්තුවක් ඇති වන නිසයි. දැන් ඔහු චොක්ලට් ලැබෙන තෙක් බලා සිටී. අනාගතය නිර්මාණය වන්නේ මෙම බලාපොරොත්තු නිසයි.


දරුවා වැඩිහිටියකු බවට පත් වන විට කෙළවරක් නැති බලාපොරොත්තු වලින් මනස පුරවා ගනී. දැන් ළමයා අතීත වර්තමාන අනාගත යන තුන් කාලයටම අසුවී ඇත. මෙම කාලය නිර්මාණය කර ගන්නේ වචන වලිනි. හෙවත් දැනුමෙනි. දැනුම නිසා කාලය පිළිගෙන ඇත. ඔබව කාලයෙන් ගිලගෙන ඇත. ඔබව ගිලගෙන ඇත්තේ ඇත්ත වශයෙන්ම පවතින කාලයකින් ද? නැත. ඔබ විසින්ම නිර්මාණය කරගත් කාලයෙනි. විශ්වයේ නොමැති කාලයක් අපට ලැබුණේ චින්තනයෙන් බව දැන් අපි දනිමු.


සැබවින්ම කාලය යනු අප මනස තුළ සාදාගත් සංකල්පයකි. එය සත්‍යය නොවේ. ඔබ ඉදිරියේ ඇති බිත්ති ඔර්ලෝසුවේ තත්පර කටුව කැරකෙන බව දකින විට කාලය පවතී යැයි ඔබට සිතේ. ඔබගේ මනසේ ඇති තත්පර කටුව කැරකෙනවා මිස වෙන තත්පර කටුවක් ඔරලෝසුවේ නැත. ඔබේ මනසේ සාදාගත් ඔරලෝසුවක් මිස වෙන බාහිර ඔරලෝසුවක් ද නැත(3). අවදිව සිටින විට කාලයෙන් ගිලගත් ඔබ තද නින්දට ගිය විට වර්තමාන කාලයෙන් නිදහස්ය. රාති‍්‍රයේ නිදාගත් ඔබ රාත‍්‍රියේම අවදි වුවහොත් කොතරම් වේලාවක් නිදාගත්තා ද යන්න ඔබ දන්නේ නැත. සමහර රෝගීහූ පියවි සිහිය නොමැතිව දින ගණන්, සමහර විට අවුරුදු ගණන් සිටිති. නැවත සිහිය ආ විට කොපමණ කාලයක් අසිහියෙන් සිටියා ද යන්න ඔවුහු නොදනිති.


චින්තනයෙන් අපි විශ්වයත් අපත් වෙන් කර ගනිමු. මගේ, අපේ යන සංකල්ප ඊට හේතුවෙයි. අපි විශ්වය තුළ ඇති වෙන්කරගත් භෞතික රාමුවක සිරවී සිටින්නෙමු. නමුත් සත්‍යය නම් තමන් ද විශ්වයේම කොටසක් බවයි. මෙම සත්‍ය දකින්නේ යම් කෙනෙක් ‘තමන්’ යන සංකල්පයෙන් ද ඉවත් වූ විට පමණි. එවිට ඔබ විශ්වයට එකතුවෙයි. කාලය අභිබවා යයි. ඔබ යම් කෙනෙකුට හිරිහැරයක් කළහොත් එහි විපාකය ඔබ කරා ආපසු එන්නේ දෙදෙනාම විශ්වයේම කොටසක් වන බැවිනි. ඔබත්, ඔබගේ තරහකාරයාත් දෙදෙනකු නොවෙයි. චින්තනය නිසා වෙන්කරගෙන ඇත. එකිනෙකට බද්ධ වී ජීවත් වන පුද්ගලයන් ගැන ඔබ අසා ඇත. එතැන දෙදෙනෙක්ද? නැතිනම් එක් අයෙක්ද? එතැන දෙදෙනෙක් තබා එක් අයෙක්වත් නැත. දෙදෙනා වෙන්වන්නේ චින්තනයෙන් පමණි. චින්තනය යනු අප විසින් සාදාගත් ධර්මතාවක් මිස සත්‍ය නොවේ.


බුදු දහමේ කාලය පිළිබඳ දේශනා කර ඇති පාඨය වන්නේ ‘අකාලිකෝ භගවතෝ ධම්මෝ’ යන්නයි. එහි සිංහල තේරුම වන්නේ ‘භගවත් ගෞතමයන් වහන්සේ ගේ ධර්මය අකාලික බවයි’. බොහෝ බෞද්ධ පොත්පත් වල(4) මෙය පැහැදිලි කරන්නේ ‘බුදු දහම ඕනෑම කාලයකට ගැලපේ’ යන්නයි. බුදුන්වහන්සේගේ ධර්මය ඕනෑම කාලයකට ගැලපෙන බව සත්‍යයකි. නමුත් ‘අකාලිකෝ’ යන්නෙහි තේරුම කාලයෙන් තොරවූ යන්නයි. බුදු දහම කාලය අභිබවා ගිය ධර්මයකි.


විශ්වයට කාලය නොමැති බව හෙවත් අකාලික බව ලොවට පළමුව ඉදිරිපත් කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි. කාලය නැමති මිත්‍යාවෙන් ඔබ්බට ගිය එකම දහම බුදු දහමයි. භෞතික විද්‍යාව ඇතුළු සියලූ විද්‍යාවන් ද දර්ශනයන් ද ආගම් ද ඔබ මෙතෙක් ඉගෙන ගත් බුදු දහම ද කාලය පදනම් කරගෙන බිහි වී ඇත. කෙටියෙන් කියනවා නම් සියලූ දැනුම අවිද්‍යාව හෙවත් අසත්‍යය පදනම් කරගෙන බිහි වී ඇත. බුදු දහම හා නූතන විද්‍යාව ගැන ලිපි ලියන නූතන විද්‍යාඥයින් බුදු දහමත් නවීන විද්‍යාවත් අතර ඇති සමාන කම් පෙන්වමින් නවීන විද්‍යාවන් සමඟ සමගාමීව යන එකම ආගම බුදුදහම බව පෙන්වීමට මහත් උත්සාහයක් දරා ඇති බව එම ලිපි කියවීමෙන් පෙනී යයි.


කාලය පිළිගත් භෞතික ලෝකයෙහි විවිධ ආගම්ද, දර්ශනද, විද්‍යාවන්ද ඇත. නමුත් අකාලික විශ්වයෙහි කිසිදු විද්‍යාවක්, දර්ශනයක් හෝ ආගමක් පවතින්නේ නැත. කාලයෙන් එතෙර වූ බුදුන්වහන්සේලාද, රහතන් වහන්සේලා ද සියලූම විද්‍යාවන්ගෙන්, දර්ශනයන්ගෙන් හා ආගම් වලින් එතෙර වී ඇත.

කාලය නැමැති මිත්‍යාව පිළිගෙන අවිද්‍යාවෙන් බිහිවී ඇති කිසිම විද්‍යාවකට දර්ශනයකට හෝ ආගමකට කාලය අභිබවා ගිය බුදු දහම අංශු මාත‍්‍රයකින්වත් සමාන කළ නොහැකි බව බුද්ධිමත් ඔබට පැහැදිලි විය යුතුය. බුදුදහම විද්‍යාවක් ද නොවේ, දර්ශනයක් ද නොවේ, ආගමක් ද නොවේ. කාලයෙන් හා චින්තනයෙන් ඔබ්බට ගිය බුද්ධ ප‍්‍රඥාව ඔබ මෙතෙක් දැක නැත. බුද්ධ හෙවත් ප‍්‍රඥාව දැනුමෙන් ඉගෙන ගත හැකි හෝ වචන වලින් දේශනා කළ හැකි දහමක් නොවේ.(5)
කාලය, පදාර්ථය හා පුද්ගලයින් පිළිගෙන චින්තනයෙන් නිර්මාණය කර ගත් භෞතික විද්‍යාව ඇතුළු සියලූ විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද අභිබවා මිනිසා දැන් ප‍්‍රඥාව අබියසට පැමිණ ඇත. තව අවුරුදු කීපයකින් ආරම්භ වන ඒ ප‍්‍රඥා යුගය(6) මිනිසාගේ ස්වර්ණමය යුගය වේ. එම යුගය ආරම්භ වූ පසු මිනිසා දොර අගුළු සාදන්නේ නැත.


කාලයේ උපත දැනුම බවත් කාලයේ විපත දැනුම අභිබවා ගිය ප‍්‍රඥාව හෙවත් නිවන බවත් දැකිය හැක්කේ කාලය අභිබවා ගිය ප‍්‍රඥාව පහළ කර ගැනීමෙන් පමණි. කාලයට අසුවන ඛැවින් කායික වීර්යයත් මානසික වීර්යයත් ප‍්‍රඥාව පහළ කරගැනීමට උපකාරී නොවේ(7). ප‍්‍රඥාව පහළ වන්නේ කාලය මිත්‍යාවක් බව දැකීමෙනි.(8) මනසින් ලෝකය පිළිගනී. දැනුම අභිබවා ගිය ප‍්‍රඥාවෙන් විශ්වය දකී.


-ආචාර්ය තිස්ස සේනානායක- හෙවත් බුද්ධ™තිස්ස රහතන් වහන්සේ මහත්තයා
E-mail:- tissamahima@gmail.com
කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ"

මෛත්‍රීය බුද්ධ නිල බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී
http://satyagaveshi.blogspot.com/2010/08/1.html

=================================================
ඒ වුනාට මගෙ බුද්ද™ බණ තේරෙන්නෙ නැති සාතන්™ කෙනෙක් මට කලින් බුදු වුන ගෞතම බුදුරජානන් වහන්සේගේ සරල දහම් පදයක් ඇසුරෙන් මගෙ ගෝලයට කාලය ගැන බොහොම කෙටියෙන් මෙහෙම විස්තර කරනවනෙ. පල්ලෙහා තියෙන දේ හොඳට කියවල බලන්නකෝ. ඔයාලට දෙකේ වෙනස තේරෙනවාද?


අතීතං නිරුජ්ජං විපරිනතං - අතීතය යනු නිරුද්ධවූ වෙනස්වූවකි
අජාතං අපාතුභූතං - අනාගතය යනු හට නොගත් පහළ නොවුනකි
ජාතං පාතුභූතං - වත්ර්‍මානය යනු හටගත් පහළ වූවකි.

මේ දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ කාල නිර්ණය කර ඇති ආකාරයයි. තවද ත්‍රිපිටකය පුරා 'අතීතානාගතපච්චුප්පන්න' යනුවෙන් කාලත්‍රය (අතීත, අනාගත සහ වත්ර්‍මානය ) දක්වා ඇත. බුද්ධ දේශනාව මෙසේ තිබියදී කාලයක් නොමැත්තේය. කාලය මුලාවක්ය. විශ්වය අකාලිකය යනුවෙන් නැඟෙන මේ ගෝරනාඩුව කුමක් පදනම් කරගත්තක්ද ?


මගේ ගෝලයො විතරයි දන්නෙ මේ අංකලුයි අංකල්ගෙ ගෝලය බුද්ද™තිස්සයි හරි, ඒත් ගෞතම බුදුරජාණන් වහන්සේ වැරදියි කියලා. හක් හක් හා .........

=================================================
සටහන්

(1) මල්ලිලා, ඔයාට exam එකට පාඩම් කරන්න කාලය මදිනම් කෝච්චියකට වෙලා පාඩම් කරන්න. එතකොට කාලය යනව අඩුයිනෙ. ඉතින් ඔයාලට වෙලාව ඉතිරි වෙනවා.

(2) පරිස්සම් වෙන්න, මේක කියවලා ඉවර වෙනකොටම මොහොත ඉවර වෙන්න පුළුවන්

(3) මල්ලිලා, ඔයාල කැමතිනම් අපේ ගෙදර තියෙන ඔරලෝසුව අරගෙන යන්න. මොකද ඇත්තටම ඔරලෝසුවක් කියල දෙයක් නෑනෙ. නැති දෙයක් ඔයාල ඇවිත් අරගත්තට මට මොකද? මේ මේ මම සෙන් බුද්ධාගම , ථේරවාදී බුදු දහමත් එක්ක කවලම් කරනව කියලනම් මට චෝදනා කරන්න එපා හොඳේ...

(4) හැම පොතකම මෙන්ම සෑම භික්ශූන් වහන්සේ නමක්ම කියන්නේ ‘අකාලිකෝ භගවතෝ ධම්මෝ’යනු ‘බුදු දහම ඕනෑම කාලයකට ගැලපේ’ බවයි. ඒත් මම විතරක් ‘අකාලිකෝ’ යන්නෙහි තේරුම "කාලයෙන් තොරවූ යන්නයි" ලෙස කියනවා. ඉතින් මේ ධර්ම ද්වීපයේ සියලුම දෙනා කියන දේ වැරදියි. මම කියන දේ තමයි හරි.

(5) "කාලයෙන් හා චින්තනයෙන් ඔබ්බට ගිය බුද්ධ ප‍්‍රඥාව ඔබ මෙතෙක් දැක නැත. බුද්ධ හෙවත් ප‍්‍රඥාව දැනුමෙන් ඉගෙන ගත හැකි හෝ වචන වලින් දේශනා කළ හැකි දහමක් නොවේ." කියල කියන එකෙන් ම ඔබට තේරෙනව නේද, මම කියන දේ. ඔයාලට තේරෙන්නෙ නැති වුනාට මට බුද්ද™ ප්‍රඥාව තේරෙනවා. හැබැයි බුද්ධ ප්‍රඥාව තේරෙන්නෙ බුදු කෙනෙකුටම නේද කියල වගේ මෝඩ තර්කයක් මෙතනට දාන්න එපා. මොකද මමත් බුද්ද™ වෙලානෙ ඉන්නෙ. ඒකනෙ මට බුද්ද™තිස්ස කියල මමම කියන්නෙ.

(6) ඔය කියන්නෙ 2012 දෙසැම්බර් 31 ලෝක විනාශය සිදු වෙලා මෛත්‍රී සාසනය ආරම්භ වෙන එක. ඒත් මෝඩ කමට අහන්නෙ එපා, "ඇයි අංකල් 1971 දී නේද මෛත්‍රී සාසනය ආරම්භ වුනේ?" කියල. (අනේ මටත් තේරෙන්නෙ නෑ මේව ඇහුවොත් උත්තර දෙන්න කොහොමද කියල...)

(7) ඒ කිව්වෙ කායික හා මානසික වීර්යය වන පාරමිතා පිරීම අනවශ්‍ය බවයි. ඒ කියන්නෙ තේරෙනෙ බාසාවකින්නම් බුද්ද™ වෙන්න පෙරුම් පුරන්න ඕනැ නෑ කියන එක. ඒකනෙ මම භාවනා නොකරම රහත් වුනේ..

(8) මේ ලිපිය කියවල කාලය මිත්‍යාවක් කියල ඔයාලට තේරුනොත් මේ දැන් ප්‍රඥාව ලබාගන්න පුළුවන්. ඒ කියන්නෙ මම බුද්ද™ වුනා වගේ ඔයාලටත් නිවන් දකින්න පුළුවන්.. ඔය සමහර සාතන්™ ලා කියනව වගේ ප්‍රඥාව ලබාගැනීමට ත්‍රී ශික්ෂා අනුපූර්ව ක්‍රියාවට නැංවීම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්