පොඩි එකාගෙ ලියුම

පොඩි එකාගෙ ලියුම,

අති මහත් භක්ත්‍ය්‍යාදර සහිතව සිරිවර්ධන සීයා වෙත,

සීයේ, අපි සීයගෙ කතන්දර හුඟක් අහනවා ඒ සීයගෙ ෆේස්බුක් ෆෑන් පේජ් එකෙන්. මට මේක පෙන්නුවේ අපේ අක්කා. අක්කාට ඩවුන් සින්ඩ්‍රෝම් හැදුනහම හොඳට හිනා වෙන්න ඕනෙ, ඉතින් අක්කා කරන්නේ මේක දාගෙන කඳුලු පනිනකල් හිනාවෙන එකයි. ඉතින් අපි සීයා අර අංගුලිමාල ගැන කරපු සාකච්ඡාව ඇහුවා. එදා තමයි අපේ ගෙදර ඔක්කොම කට්ටිය එකතුවෙලා හොඳටම හිනාවෙච්චි දවස. මම මෙහෙම කියන්නේ සීයව තව තවත් ධෛර්යය කරන්නයි. අපි හිනා වෙනවා කියලා සීයා මේ වැඩේ නවත්වන්නේ නැතිවෙයි කියලා හිතනවා. අපේ නංගී හරි කැමතියි පරණ තාලෙට තියෙන සිංදු අහන්න, මේ ලඟදි ටී.එම්. ජයරත්න මහත්මයා ගායනා කරන මේ සින්දුව මට එයා දාලා දුන්නා,

දිසාපාමොක් ඇදුරුතුමනී
දුටුව දා සිට මනමෙ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි
තක්සලාවෙන් ඉවත යන්නේමි.

ඉතින් සීයේ මම පුංචි ළමයෙක් නිසා මගේ මේ ප්‍රශ්ණය විසඳලා දෙනවද ?

1. සීයේ අංගුලිමාල නැත්නම් අහිංසක කුමාරයා ගියපු ඉස්කෝලෙ නම තක්ෂිලාව නේද ? මේ ටී. එම්. ජයරත්න මහත්මයත් කියන්නේ 'තක්ෂිලාවෙන් ඉවතයන්නෙමි' කියලා. එතකොට දිසාපාමොක් කියන්නේ මේකෙ ඉන්න ගුරුතුමා නේද ? මට හිතෙන්නේ නම් සීයාට පැටලැවිලා. සීයා කියනවනේ දිසාපාමොක් කියන්නේ විශ්ව විද්‍යාලයක් කියලා ?

2. දිසාපාමොක් ආචාර්යවරයා මෝක්ෂය කියලා දෙනවා කියලා නම්. පන්තියේ හොඳම ළමයාට තමන්ගෙ දුවව දෙන්නේ මොකද ? අපේ ටීචර් එහෙම චාරිත්‍රයක් තිබුනා කියලා අපට කිව්වා. ඉතින් මෝක්ෂය හොයන අයට ගෑණු මොකටද සීයේ ?

3. සීයා කියන කතාව ඇත්තක්ම නම්, ඒ කියන්නේ දිසාපාමොක් ගුරුතුමා මෝක්ෂය කියලා දෙනවා නම් ( සීයා කිව්වනේ මොක් කියන්නේ මෝක්ෂය කියලා) ඒ කියන්නේ ඒ ඒ විෂය උගන්වන ගුරුවරුන්ගේ නම විතරක් බලලා උගන්වන විෂය අනුමාන කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක ඇත්තක් නම් අපි විනාසයි සීයේ මොකද මේ අපිට උගන්වන ගුරුවරුන්ගේ නම් කීපයක්. ඒ ගොල්ලන්ගේ නම අනුව උගන්වන දේ හිතුවොත් පිස්සුමයි හැදෙන්නේ

උදහරණ :

ඥානසිංහ - ඥාන කියන්නේ නම් නුවණ සිංහ කියන්නේ සිංහයා. ඉතින් මේ සර් සිංහයන්ට නුවණ කියල දෙන කෙනෙක්, ඒ කියන්න සිංහයන්ට කියලා දෙන සර් කෙනෙක්. ඒත් මේ සර් අපිටයි ඉගැන්නුවේ ඒ සිංහල විෂයයි

ජයතුංග - ජයතු කියන්නේ දිනේවා කියලනේ අංග කියන්නේ මම හිතන විදියට කොටස් කියන එකයි, මේ ටීචර් එහෙනම් දිනන උපක්‍රම කියලා දෙන්න ඕනෙ. මේ ටීචර් අපිට ඉගැන්නුවේ සංගීතය.

විජේසිංහ - විජය කියන්නේ දිනනවා කියන එකලු ආයෙත් සිංහ කියන්නේ සිංහයාටනේ. මේ සරුත් සිංහයන්ට දිනන්න කියලා දෙන කෙනෙක් වෙන්න ඕනෙ. අනේ මේ සර් ඉගැන්නුවේ විද්‍යාවනෙ ?

යටවර - යට කියන්නේ පල්ලෙහා කියලයි වර කියන්නේ එන්න කිකන එකයි. මෙයා එහෙමනම් යටට යන විදිය කියලා දෙන්න ඕනෙ. අනේ සීයෙ මේ සරුත් කියලා දුන්නේ විද්‍යාව.

කන්දෙපොල - කන්ද කියන්නේ උස්වෙලා තියෙන පිහිටීමකට පොල කියන්නේ මාර්කට් එකටනේ, මේ සර් උඩින් තියෙන මාර්කට් එකක් ගැන කියලා දුන්නේ නම් නැහැ. කෙටියෙන් කිව්වොත් සමාජ අධ්‍යයනයට කිසිම සම්භන්ධයක් නැහැ. සර් කළේ ගණිතයයි.

දිසානායක - දිසා කියන්නේ පැත්තකටනෙ නායක කියන්නේ ලොක්ක කියලයි. එතකොට පැත්තකට ලොක්කෙක් වෙන්න මේ සර් කියලා දෙන්න ඕනෙ. නමුත් මේ සර් තමයි සමාජ අධ්‍යයනය ගැන කියලා දුන්නේ.

සීයේ හොඳ වෙලාවට ලංසි, බර්ගර් කට්ටිය අපේ ඉස්කෝලෙ හිටියෙ නැහැ. හැබැයි අල්ලපු ඉස්කෝලෙ ක්‍රිස්තියානි එකක්. මම හිතන්නේ ඒකෙ කට්ටියට සීයගෙ මේ කතාව ඇහුනේ නැතුවැති. ඇහුනොත්නම් නම් තෝරන්න ගිහින් කපෝතියි !

සීයේ මම හරි ආසයි සීයට උත්තරයක් එවන්න පුලුවන් නම් !


සැර+දේවා

උක්කුං පුතා

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්