Showing posts with label අධර්මය. Show all posts
Showing posts with label අධර්මය. Show all posts

මගේ ශ්‍රාවිකාවක්™ දොරමඬලාවට කතාකලා

මම මේ ලිපිය ලියන්නෙ හරීම සිතේ සංතෝශෙකින් ඒ මොකද කිව්වොත් මේ හැමෝම මේ වෙනකොටත් දන්නවා ඇති බුද්දාලම්බන ප්‍රීතියෙන් ඔඳවැඩීගිය 170% ක්ම බුද්දිමත් මගේ ශ්‍රාවිකාවක් දොරමඬලාව වැඩසටහනට කතාකරලා මම ගැන කිව්වනේ. මේක කියනවන නංගිලා මල්ලිලා බැලුවද එදා දොරමඬලාව? කමන් නෑ බැලුවෙ නැත්නං මෙතනිං බලන්න පුලුවන්. ඉස්සෙල්ලා ඒ අසිරිමත් අවස්ථාව බලලම ඉන්නකෝ.
බැලුවද? දැක්කා නේද මගේ බුද්ධිමත් ශ්‍රාවකයො මම ගැන පැහැදිලා ඉන්න හැටි. මගේ බුද්ද සාසනය පහලවෙලා අවුරුදු 40ක් වෙනවා කියල කිව්ව එක මතකයි නේද. කේතුමතිය මධ්‍ය දේශයේ පහලවනවා කියල ධර්මයේ සඳහන් වෙන දේ මම වෙනස් කලා. ඒ වෙනස්කිරීමට අනුව කේතුමතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණේ! වඳුරඹ ප්‍රදේශයේ. මගේ අස්වැද්දුම කැම්පේන් එක ජයටම කෙරෙන්නේ මෙහේ තමයි.

කතාවෙන් කතාවෙන් මාතෘකාව වෙන පැත්තකට හැරුනානෙ. මම කිරිවලට දියදාන්න වාගේ තමයි ධර්මය අදර්මය කරන්නේ. ඒකත් මතකයි නේද. ඒ වගේම තමයි මගේ බුද්ධිමත් ශ්‍රාවිකාව කිව්ව "බුද්ධාලම්බන ප්‍රීතිය සසරට අපි ඇදදාන එකමයි කරන්නෙ" මතකයි නේද මතක නැත්නම් ආපහු අහන්න. එහෙම තමයි මම උගන්වලා තියෙන්නෙ මොකද එතකොට තමයි ගෞතම බුදුන්වහන්සේගේ ශාසනය මිහිපිටින් අතුගා දමන්න මට සහ මගේ කණ්ඩායමට ලේසි. ඒකයි මම ඉස්සෙල්ලාම මගේ ලඟට එන ශ්‍රාවකයින්ට ඒ අදහස ඇතුල් කරන්නේ. නමුත් එහෙම කියපු මගේ ශ්‍රාවිකාවම කියනවා "අපි මේ දවස්වල බුද්දාලම්බන ප්‍රීතියෙන් ඉන්නෙ" කියල. ඒක වරදක් නෑ. මොකද කිව්වොත් මම ගැන තියෙන බුද්දාලම්බන ප්‍රීතිය වරදක් නෑ. ඒ හරහා හැමෝටම බුදුන් වෙන්න  අවස්ථාව ලැබෙනවා. ඒකයි මම නිතරම කියන්නේ ඔබේ බුදුන් ඔබ මතුකරගන්න කියලා.

ගෞතම බුදුන්ගේ ධර්මය ගැඹුරින් හදාරන්න මම මගේ 175%ක් බුද්දිමත් ශ්‍රාවකයින්ව උනන්දු කරවන්නෙත් නෑ. මොකද මගේ දර්ම වගේ නෙමෙයි ශ්‍රී සද්ධර්මය විශේෂ ගුණාංගයන්ගෙන් යුක්තයි. ඒ අය ගෞතම බුදුන්ගේ ධර්මයට නැඹුරුවෙන්න පුලුවන්.

මම දොරමඬලාවට චෝදනාවක් එල්ල කරනවා. මම මගේ ශ්‍රාවිකාවට කියාදුන්නු ඔක්කොම ටික කියල ඉවරකරන්න හසන්ත මල්ලි ඉඩදුන්නේ නෑ. පාලක මැදිරියට යනව කියල ලිස්සල ගියා. මේ මොහොතේ මම එය හෙලා දැකල මගේ විරුද්ධතවය හසන්ත මල්ලීට ප්‍රකාශ කරන්න කැමතියි. එදා මාතෘකාවට මොනතරම් අදාල උනත් මම ගැන කතා නොකරන්න එතන හිටපු විද්වත් මණ්ඩලය වගබලාගත්තා.  ඒ මදිවට එම විද්වතුන් දෙදෙනා මට සමච්චලයට වගේ හිනාවුනා මූණට මූන බලාගත්තා. මට හරීම පුදුමයි එහෙම කලේ ඇයි කියලා. ඒකටත් මම මගේ බලවත් විරෝධය පලකර සිටිනවා. ඒ ගොල්ලො දන්නෙ නැති දේවල් මගෙන් ඇවිල්ලා අහගන්න කියල මම ඒ දෙපලට කියා සිටින්න කැමතියි. ඒ වගේම මම හසන්ත මල්ලීට කියා සිටිනවා මම ගැන කතාකරන්න දොරමඬලාව වැඩසටහනක් තියන්න කියලා! මගේ ශ්‍රාවිකාව කිව්වා ඇහුනනේ "ඇයි මේක වහන්නේ". මමත් ඒක තමයි මේ රටේ ජනමාධ්‍ය වලින් අහන්නේ ඇයි මෛත්‍රී බුද්ද සාසනය ලංකාවේ කේතුමතියේ පහලවෙලා කියන එක වහන්නේ. 

දවසකට දෙදාහක් විතර මගෙන් බණ අහන්න එනවා. මම ඒ අයට ටික ටික "ඔබේ බුදුන් ඔබ මතුකරගන්න" හැටි කියල දෙනවා. ඒ කියන්නේ මම ඒ අය ටික ටික මහායානයට හරවනවා.  ඒක මගේ ව්‍යාපෘතියේ එක ඉලක්කයක්. මගේ ඉලක්කය තමයි මුළු ලංකාවේම බෞද්ධයින් මහායානිකයන් කිරීම. මම මේකට ඔය හැමෝගෙම සහය පතනව. විශේෂයෙන් මේ රටේ ජනමධ්‍ය වලින්.

මේක කියවපු නංගිලා මල්ලිලාගෙන් මම ඉල්ලාසිටින්නෙ මම ගැන ඔයාල දන්න දන්න අයට කියන්න.  2012 දෙසැම්බර් 21 වෙනකම් විතරයි මගේ සාසනේ තියෙන්නෙ ඒක නිසා පස්සෙ පසුතැවෙන්න එපා.

හැමෝටම GOD BLESS!!!

"තණ්හාව කවදාවත් නැතිකරන්න බෑ!" - මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අඳබාල අං+කල් සිරිවර්ධන පවසයි

ඔන්න අදත් අපි ඔබ හමුවට ගෙන එන්නේ අපේ කාලයේ දේවදත්ත නොහොත් සිරිවර්ධන අං+කල් ගේ  තවත් එක් නරිනාටකයක් හෙවත් ධර්මය අදර්මය™ කිරීමක්. මේ සඳහා මූලාශ්‍රය විදියට අපි ගන්නේ 2010.07.10 සිදුකර බවට සඳහන් කරමින්  අං+කල්ගේ  අතිජාත ගෝල දුමිඳු නොහොත් වල් මහත්තයා විසින්  YouTubeයට එකතු කරන ලද සිරිවර්ධන අං+කල් සිදුකරන ලද දර්ම දේශනයක්. (ධර්ම යනු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සත්ධර්මය බවත් මේ කියන්නේ සිරිවර්ධන අං+කල් ගේ දර්ම™ බවත් සලකන්න).

හොඳයි..අපි දැන් බලමු  අඳබාල පෘතග්ජන අං+කල් මේ දර්ම දේශනයේදී 175%ක්ම බුද්ධිමත් ශ්‍රාවකයින්ට කියන්නේ කුමක්ද කියල.

"තෘෂ්ණාව අයිං කරන්න කියල මිනිස්සුන්ටත් කියනව හාමුදුරුවොත් කියනව තෘෂ්ණාව අයින් කරල තමයි නිවන් දකින්න ඕන. එහෙම දෙයක් වෙන්නෙ නෑ පිංවත්නි තෘෂ්ණාව අයින් කරන්න වෑ. කවදාවත් මංගල හස්ථි රාජයා පාගන්නෙ නෑ තෘෂ්ණාව එහෙම පාගන්න බලයක් නෑ රජ්ජුරුවො අණ දෙන්න ඕන. දැන් හුඟක් කට්ටිය නිවන් දකින්න ඕනයි කියන්නෙ මොකක්ද? තෘෂ්ණාව නැති කරන එක. බෑ පිංවත්නි."

ඉතිරි ටිකත් අහල බලන්න කැමති අයට ඔන්න පහලින් Video එකේ අදාල කොටස දක්වලා තියනවා.
දැන් මේක බලපු අයට මේවගේ ප්‍රශ්න වැලක් එනව ඇති. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙහෙමද දේශනා කරල තියෙන්නෙ. මොකක්ද මෙයා මේ කියන්න හදන්නෙ. කවුද බඩු මුදලාලි, මොකක්ද මංගළ හස්ථි රාජයෙක් ගැන කියන්නෙ . එහෙම ගැටලුවක් එන එක සාධාරණයි. මෙයා දර්මය කියාදෙන්නෙ කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව කතාවෙන්!. ත්‍රිපිඨකයේ තිබෙන ධර්ම කරුණු සඟවලා, අපි පොඩි කාලෙදි දන්න කතාවලින් තමයි මෛත්‍රීය බුද්ධ යයි කියාගන්නා අං+කල් සිරිවර්ධන ධර්මය කියාදෙන්නෙ. මේ ගැන වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි වලින් ගෙන ඒමට අපි උත්සාහ කරනවා.

ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් දේශනාකරල තියනවද කියල ධර්ම දැණුම අඩු බෞද්ධයෙකුට හිතෙන්න පුලුවන් ඔහු බුද්ධිමත් නම් ත්‍රිපිඨක ධර්මය ඇසුරෙන් මෙය විමසලා බලන්න පුලුවන් විවෘත්ත වන තරමට මේ ශ්‍රී සද්ධර්මය බබලන නිසා ධර්මය විමසන අයෙකුට ගැටලු නිරාකරණය කරගන්න පුලුවන්. නාමික බෞද්ධයො තමයි විශාල වශයෙන් මේ පිල්ලියට අහුවෙලා මිසදිටු වැළඳගෙන තියෙන්නෙ. අපි දැන් විමසා බලමු තුන්ලෝකාග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව කරන ලද දේශනයක්. මෙම දේශනය ත්‍රිපිඨක පොත්වහන්සේගේ සංයුක්ත නිකාය , අන්ව වර්‍ගයේ සංයෝජන සූත්‍රයේ අන්තර්ගත වනවා.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

"ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?"

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) "ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්‍කයෝ එහි ඇවිදින පාදයෝයි. තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේයයි කියනු ලැබේ." 

"තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේ යයි කියනු ලැබේ" යනුවෙන් භාග්‍යවත් තථාගත මුණිඳුන් දේශනා කරද්දී මෛත්‍රී බුද්ධ ලෙසින් පෙනී ඉන්න හදන කාමසුව විඳින මේ අඳබාලයා එම දේශනාව සම්පූර්ණයෙන් අනික්පැත්ත හරවමින් ධර්මචක්‍රය සහිත ධර්මාසනයක් මත ඉඳගෙන නන් දොඩවයි.

සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ  බ්‍රාහ්මණ සංයුක්තයේ අරහන්ත වර්ගයේ ජටා සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ජටා භාරද්වාජ නම් බමුණු තෙමට කල ධර්ම දේශනයේ මෙලෙස සඳහන් කල සේක.

"යමෙකුන් විසින් රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද දුරු කරන ලද්දාහුද, ආශ්‍රවයන් නැතිනළ ඒ රහත්හු වෙත්. ඔවුන් විසින් ( තණ්හා ) අවුල ලිහන ලද්දේය."

"යම් තැනෙක නාමයද, රූපයද, කාම භවයද, රූප භවය හා අරූප භවයද සම්පූර්‍ණයෙන් අතුරුදහන් වේද, එහි මේ ( තණ්හා ) අවුල සිඳෙයි."
එසේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කල පටිච්ච සමුප්පාද ධර්මයට අනුව විඳීම් නිරුද්ධවීමෙන් ත්‍රිවිධ තන්හාවන් නිරුද්ධවේ, ත්‍රිවිධ තන්හාවන්(කාම,භව, විභව තන්හා) නිරුද්ධ වීමෙන් උපාදානයන්ද , උපාදානයන් නිරුද්ධ වීමෙන් භවයද එනිසා විඤ්ඤානය නිරුද්ධ වී නැවත උපතක් කරායන ස්වභාවය නිරුද්ධවේ. එසේනම් අඳබාල කම ලොවට පෙන්වමින් ධර්මාසන මත හිඳිමින් ධර්මය විකෘත්ති කරන සිරිවර්ධන මේ කියන්න හදන්නේ කුමක්ද?

භාග්‍යවතුන් වහන්සේ මැනවින් දේශනාකරන ලද ධර්මය සඟවමින් මොවුන් මේ නටන නාඩගම කුමක්ද? මොවුන් මේ කරන ක්‍රියාවට කොපමණ පිරිසක් අසුවී ඇත්ද යන්න  පහත ඡායාරූප කිහිපය දකින ඕනෑම බුද්ධිමත් අයෙකුට වටහාගත හැකිවනු ඇත. ඉහත ගෙනහැර පෑවේ එක් උදාහරණයක් පමණි තවත් උදාහරණ ඉදිරියේදී ගෙන එන්නෙමු.
බෞද්ධ කොඩි පිරිවරාගෙන සේසත් වලට මැදිව මුතු කුඩයක් යටින් මේ යන්නේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අමු අමුවේ විකෘත්ති කරන අං+කල් සිරිවර්ධනයි.
අංකල් සිරිවර්ධන පෙරටුකොටගත් පෙරහැරේ ඉදිරියෙන් බෞද්ධ කොඩි රැගෙන යන පොඩි දරුවන්.
ධර්මය විකෘත්ති කරන අධර්මවාදියා මුතු කුඩය යටින් යද්දී භික්ශූන් වහන්සේලා පැත්තක සිටිමින් මල් වට්ටියට අතගසන අයුරු.

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය ලඟ ලඟම එද්දී බෞද්ධ රටේ  මේ සිදුවන අමන ක්‍රියාවන් අපි තවදුරටත් බලා සිටිය යුතුද ? ධර්මයේ නාමයෙන් අධර්මය ගෙන ඒම තරම්  ධර්මයට කරන හාණියක් තවත් නැත. මේ රටේ බුද්ධ සාසන අමාත්‍යාංශයක් පිහිටුවා ඇති අරමුණ කුමක්ද?  එහි ජනතා මුදලින් පඩි ලබාගන්නා එහි නිලධාරීන්ගේ ඇස් අන්ධවී ඇත්ද? බලධාරීන් නිදි නම් මේවා අපරටින් තුරන් කිරීමට පෙරමුණ ගත යුත්තේ රටේ ජනතාවමයි.

-මරසෙන් පරදමු

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්